Crescat Boulevard අළුත් වෙලා

2021-11-20




ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින මේ මොහොතේ, සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද ක්‍රෙස්කැට් බුලෙවාඩ් (Crescat Boulevard) සාප්පු සංකීර්ණය අද (නොවැම්බර් 19) දින විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව එහි කළමනාකාරීත්වය පවසයි. නව මුහුණුවරක් ගත් සුපුරුදු අලෙවිසැල් මෙන්ම නවතම අලෙවිසැල් හා විශේෂාංග රාශියක්ද සහිත නව ක්‍රෙස්කැට් බුලෙවාඩ් සාප්පු සංකීර්ණය පාරිභෝගිකයන්ට නවතම අත්දැකීමක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ මුල්ම සාප්පු සංකීර්ණ අතරින් එකක් වන ක්‍රෙස්කැට් බුලෙවාඩ් හි නවීකරණ කටයුතු කළමනාකරණය කරන ලද්දේ ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම මගිනි. ගාලු පාර සහ පෙරහැර මාවත ඔස්සේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටි, වාහන නැවැත්වීම සඳහා පුළුල් ඉඩ පහසුකම් සහිත මෙම සාප්පු සංකීර්ණය, දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනා සිටී.

අලුත්වැඩියා කර විවෘත කරනු ලබන නව ක්‍රෙස්කැට් බුලෙවාඩ් සාප්පු සංකීර්ණය තුළ නවතම ආහාරපාන අලෙවිසැල් එකතුවක්ද විවෘත වනු ඇත. පහත මාලයේ පිහිටි Food Court හිදී එම අලෙවිසැල් වල අලෙවි කරන ප්‍රණීත ආහාරපාන සිත් සේ රසබැලීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. ශ්‍රී ලාංකික ආහාරපාන වලට අමතරව තායි, චීන සහ ජපන් ඇතුළු ජාත්‍යන්තර ආහාරපාන සම්ප්‍රදායන්ට අයත් ආහාරපාන වර්ග රාශියක් මෙම අලෙවිසැල් වල අලෙවි කෙරෙනු ඇත.

ක්‍රෙස්කැට් බුලෙවාඩ් හි බිම් මහලේ පිහිටි කීල්ස් අලෙවිසැල, කොළඹ නගරයේ වඩාත්ම පහසුවෙන් ළඟා විය හැකි සුපිරි වෙළඳසැල් අතරින් එකකි. එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩ සහ බේකරි නිෂ්පාදන ආදිය පමණක් නොව රටබීම වර්ගද මෙම අලෙවිසැලෙන් මිලදීගත හැකි වේ.

“අපගේ ඇතැම් පාරිභෝගිකයන් වසර 20 කට අධික කාලයක් පුරා ක්‍රෙස්කැට් බුලෙවාඩ් වෙත නිතර ආ ගිය අයයි. එමෙන්ම නව පාරිභෝගිකයන් විශාල පිරිසකුත් ක්‍රෙස්කැට් බුලෙවාඩ් වෙත ආකර්ෂණය වී සිටිනවා. මෙය කොළඹ නගරයේ වඩාත්ම පහසුවෙන් ළඟා විය හැකි සාප්පු සංකීර්ණ අතරින් එකක්. මෙම නවීකරණ ව්‍යාපෘතිය තුළදී නවතම අංග එක් කරන අතරම, එහි සුපුරුදු ආකර්ෂණීයත්වය එලෙසම පවත්වා ගන්නට අප කටයුතු කළා. විවෘත කිරීමෙන් පසුව නැවතත් ක්‍රෙස්කැට් බුලෙවාඩ් වෙත පැමිණ මේ නැවුම් වෙනස අත්විඳින මෙන් මා සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා.” ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ වත්කම් කළමනාකරණ ප්‍රධානී තීක්ෂණ ජයරත්න මහතා පැවසී ය.
 






     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy