රාසිං දෙයියෝ මියගියේ අනියම් පෙමක් නිසා

2021-08-01




සීතාවක රාජසිංහ රජතුමා නැත්තං රාසිං දෙයියෝ උණ කටුවක් ඇණිලා මියගියා කියන කථාව ජනප්‍රිය කථාවක්.සීතාවක රාජධානිය පුරා රාජසිංහ රජුට සම්බන්ධ නටඹුන් දකින්න පුළුවන්.අපි මීට කලින් බැරැණ්ඩි කෝවිල ගැන කිව්වා. අද කියන්න යන්නේ රාජසිංහ රජතුමාගේ සොහොන ගැන. මේ සොහොන තියෙන්නේ අවිස්සාවේල්ල ගුරුගොඩැල්ල පාරේ තල්දුව හන්දියෙ ඉඳලා කිලෝමීටර් දෙකක් විතර ගියාම මෙතන්ට යන්න පුලුවන්. පාරේ ඉඳලා බැහැලා මීටර් 100 ක් වත් නෑ ඇවිදගෙන යන්න.

එතන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගහලා තියෙනවා රාජසිංහ රජතුමාගේ සොහොන කියලා. මේ ගැන එක එක වාද විවාද තියෙනවා. මෙතන තියෙන්නේ රාජසිංහ රජතුමාගේ සොහොන නොවෙයි කියලත් සමහර ජනප්‍රවාද වල කියනවා.මෙතන තියෙන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගහපු පුවරුවක් විතරයි. හැබැයි කිසිම කැනීමක් කරපු බවක් පෙන්න නෑ.

ඉස්සර සීතාවක ඉඳලා කන්ද උඩරට ට යන පාර තිබිලා තියෙන්නේ මේ පැත්තෙන්. ඉතිහාස කථා වලට අනුව සීතාවක රාජසිංහ රජු කොනප්පු බණ්ඩාරට එරෙහිව යුද්ධ කරලා පරාජයට පත්වෙලා කනගාටුවෙන් රුවන්වැල්ලේ පිහිටි පෙතන්ගොඩ රාජකීය උද්‍යානයට ඇවිල්ලා ඉන්න අතරේ කටු උණ පඳුරේ උණ කටුවක් ඇණිලා මියගියා කියලයි කියනේ. අදටත් මේ උණ පඳුර රුවන්වැල්ල කිට්ටුව තියෙනවා. හැබැයි තව කථාවකට අනුව කටු උණ පඳුර අසල සක්මන් කරන කොට රාජසිංහ රජුට නයෙක් දෂ්ට කලා කියලා කියනවා. ඊට පස්සේ රජුට ප්‍රතිකාර පිණිස නුවරින් දක්ෂ වෛද්‍යවරයෙක් කැඳවලා තියෙනවා. ඒත් වෛද්‍යවරයා එන්න කළින් රාජසිංහ රජුය අසාධ්‍ය වුන නිසා අඟුලකින් රජුව අරං ගිහිං තියෙනවා සීතාවක රජ මාළිගාවට. හැබැයි ඒ යන අතරේ රජු මියගිහින්.

නුවරින් ගෙන්වු වෙදමහතා පෙතන්ගොඩට ඇවිල්ලා තියෙන්නේ සියල්ල සිදුවුනාට පස්සේ. පස්සේ ඒ වෙදමහතා පෙතන්ගොඩින් විවාහයක් කරගෙන එහි ම නතර වෙලා තියෙනවා . අදටත් පෙතන්ගොඩ ජීවත්වන ‘නුවරගෙදර’ පරපුර වෙදමහතාගෙන් පැවතෙන බව ගැමියන් විශ්වාස කරනවා.පස්සේ රජු ගේ දේහය මෙතන මිහිදන් කලා කියලයි කියන්නේ. හැබැයි මේ අතරේ තව කථාවක් තියෙනවා ඒ තමයි මෙම ස්ථානය සෙංකඩකල යුව රජ වීරසුන්දර බණ්ඩාර බොරු වලක වට්ටවා මරා අශ්වයාද සමගින්ම මිහිදන් කල ස්ථානය බවටත් කතාවක් තියෙනවා.

සීතාවක රාජසිංහ රජුගේ මරණය හිතාමාතා විෂ බැන්දවීමෙන් සිදුකළ එකක් කියලා තව කථාවක් තියෙනවා. රාජාවලිය කියන්නේ දොඩම්පේ ගණිතයා මේ උණ කටුව ඇණුන තැනට විෂ බැන්දා කියලයි.මේකට හේතුවුන කථාවක් තියෙනවා. රාජසිංහ රජුගේ මුනුපුරෙක් වුන රාජසුර්ය කුමාරයා දොඩම්පේ ගණිතයාගේ දියණියට ආදරය කරලා තියෙනවා. හැබැයි වෙස්වලාගෙන චාරිකාවේ යන රාජසිංහ රජු දිය පිහිල්ලක ස්නානය කරමින් සිටි දොඩම්පේ ගණිතයාගේ දියණිය දැකලා ඇයව බලහත්කාරයෙන් අන්තඃපුරයට අරං ගිහිං තියෙනවා.මේ නිසා දොඩම්පේ ගණිතයා සහ රාජසුර්ය කුමාරයා රාජසිංහ රජු එක්ක කේන්තියෙන් ඉඳලා තියෙන්නේ. මේ නිසා උණ කටුව ඇණුනාට පසුසේ රාජසුර්ය කුමරු ගේ උපදෙස් අනුව දොඩම්පේ ගණිතයා ගෙන්වලා තියෙනවා.ඊට පස්සේ රාජසිංහ රජුට මරණයට විෂ බැඳලා තියෙනවා.

මේ කොහොම වුනත් ඉතිහාසය කියන්නේ ප්‍රබන්ධයක් කියලා අපි දන්නවා. මේ වගේ පුරාවෘත්ත නිසා පැහැදිලි සාක්ෂියක් කොහොමත් හොයාගන්න අමාරුයි. ඒ කොහොම වුනත් සීතාවක සංචාරයේ යනවා නම් බලන්න හොඳ තැනක්.






     



Copyright ©2020 All Rights Reserved | Developed by 4meli.com
Terms & Conditions | Privacy Policy